කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

"පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව පදක්කම් අභිෂේකාභිමාන මංගල්‍යය පැවැත්වේ..

කර්මාන්ත අමාත්‍යාංශය , අධ්‍යාපන අමාත්‍යංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව දීපව්‍යාප්ත පාසල් කරන ලද " පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව" ජාතික වැඩසටහනෙහි පාසල් කර්මාන්ත ව්‍යවසායක පදක්කම් අභිෂේකාභිමාන මංගල්‍යය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතාගේ සහභාගීත්වයෙන් 2024.03.22 දින නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි.

මේ අවස්ථාව සදහා එක්වෙමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කර සිටියේ මේ වන විට මෙම ව්‍යවසායකත්ව කව සමග පාසල් 365ක 500 කට අධික පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව තුළ සිසු දරුදැරියන් 12,300 කට අධිකව එක්ව සිටින බවත් ඒ වෙනුවෙන් සහය ලබා දෙන අධ්‍යාපන අමාත්‍යාංශය, විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් වෙත ස්තුතිවන්ත වන බවත් ය. එමෙන්ම දරුවන් අනෙක් අංශ හරහා ඉදිරියට යන්නා සේම ව්‍යවසායකත්වය තුළින් ද ජාතික සහ ජාත්‍යන්තරය ජය ගත යුතු බවත් ඒ සදහා කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රමුඛ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ණය පහසුකම් සහ දැනුම ලබා දී උපරිම සහයෝගය ලබා දීමට සූදානම් බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා කියා සිටියේ පාසල් දරුවන් තම අනාගත මාවත තෝරා ගැනීම සදහා අධ්‍යාපනය මෙන්ම මෙවැනි ව්‍යවසායකත්ව සංවර්ධනය උදෙසා කටයුතු කිරීම අගය කළ යුතු බවත් අධ්‍යාපනය යනු විභාග සමත්වීමම පමණක් නොව ජීවිතය ජය ගැනීමට ඉගෙනීමද අධ්‍යාපනය බව එතුමා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කියා සිටියේ සෑම දරුවෙකුටම ඉංජිනේරුවන්, ගණකාධිකාරින් වන්නට නොහැකි මුත් සෑම දරුවෙකු සතුවම ඇති ශක්තීන් හදුනා ගෙන ඊට අනුව ව්‍යවසායකත්වය සංවර්ධනය කළ හැකි බවයි. එමෙන්ම මේ වන විට ලංකාව තුළ සංචාරක කර්මාන්තය සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින බැවින් ඒ සදහා එම විදෙශිකයන් වෙනුවෙන් දේශීය නිෂ්පාදන වර්ධනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්ව ඇති බවත් ඒ වෙනුවෙන් නිෂ්පාදන සන්නාමකරණය සහ මෙවැනි වැඩසටහන් විශාල කාර්යභාරයක් සිදු කරන බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථාව සදහා එක්වෙමින් කර්මාන්ත අමාත්‍යාංශයෙහි ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සදහන් කර සිටියේ 2.8 ක් ව පැවතුන මෙරට ව්‍යවසායකත්වය මේ වන විට 3% දක්වා වර්ධනය කර ගන්නට හැකිව ඇති බවත් එය තව දුරටත් වර්ධනය කර ගැනීම උදෙසා මෙවැනි ව්‍යවසායකත්ව කව වැඩසටහන් පාසල් දරුවන් කෙන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ බවයි. එමෙන්ම පාසල් දරුවන් රැකියා අපේක්ෂිකයන් නොව රැකියා උත්පාදකයන් විය යුතු බවත් මෙරට දැන් පැන නැගී ඇති ආර්ථික යුද්ධය ජය ගන්නට දක්ෂ සෙබලුන් වන්නට සුබ පාර්ථනා කරන බවත් එතුමිය වැඩිදුරටත් පැවසීය.

මෙහිදී ලෝකඩ පදක්කම් , නියමු පදක්කම් 362 සිසු දරුවන් වෙත පැළදවූ අතර ' කර්මාන්ත ව්‍යවසායකත්වය තුළින් රට සංවර්ධනය කරමු ' යන තේමාවෙන් පැවැත්වූ චිත්‍ර, රචනා , ගීත රචනා සහ කෙටි චිත්‍රපට තරගාවලියේ ජයග්‍රාහකයන් හට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම සිදුකෙරිණි. මේ අවස්ථාවේදී සංකේතාතමක අමුද්‍රව්‍ය ප්‍රදානය කිරීම සම්භාණ්ඩ සහ පාවහන් නිෂ්පාදකයන්ගේ සංගමය විසින් නුගවෙල මධ්‍ය විද්‍යාලයේ සම්භාණ්ඩ නිෂ්පාදන අංශය සදහා ලබා දෙන ලදී. එමෙන්ම කර්මාන්ත සදහා ණය ලබා දීම රත්නාවලී බාලිකා විද්‍යාලයෙහි සිසුවියන් දෙදෙනෙකුට සහ බදුල්ල වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයෙහි සිසුවෙකු වෙත ලබා දීම සිදුවිය. 2024 සම්භාණ්ඩ ප්‍රදර්ශනයෙන් ලද ආදායමෙන් 50%ක් ලෙස රුපියල් මිලියනයක මුදලක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කර්මාන්ත සංවර්ධන අරමුදල සදහා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය මගින් ප්‍රදානය කරන ලදී. බදුල්ල වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ ව්‍යවසායකත්ව කව වැඩසටහන් හරහා නිෂ්පාදනය කරන ලද විවිධ පාරිභෝගික නිෂ්පාදන අඩංගු පාර්සලයන් ගරු අමාත්‍යතුමා ඇතුළු ආරාධිතයන් වෙත ප්‍රධානය කිරීමද සිදු කරන ලදී.

මේ අවස්ථාව සදහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වසන්ත පෙරේරා, ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. එස් සමරකෝන්, ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ රේණුකා ජයලත්, රජයේ සහ පුද්ගලික අංශයන් වල බැංකු නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්, පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් මෙන්ම පාසල් දරුදැරියන් ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ස්ථානය : නෙළුම් පොකුණ රඟහල

ANNOUNCEMENTS
Close