කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

IDB සහ Ceylon Federation of MSMEs අවබෝධතා ගිවිසුම අත්සන් කරයි

“ව්‍යවසායකත්ව සංස්කෘතියක ප්‍රමුඛ භූමිකාවක් ක්ෂ්‍රද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට හිමිවෙනවා”
කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම කියයි.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ සංකල්පය යථාර්තයක් කිරීමට නම්, ව්‍යවසායකත්ව සමාජයතුළ වැඩි ඉඩකඩක් හිමිව සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සැලසුම් සහගත වැඩ පිළිවෙලක් මේවන විටත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දියත් කරතිබෙන බවත්, ඒ සඳහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ සහයෝගය ප්‍රායෝගිකවම, ක්‍රියාශීලීව, අවශ්‍ය වන බැවින් ඒ සඳහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ, ව්‍යවසායක සංසදය සමඟ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ගිවිසුම් ගතවීම සුවිශේෂී අවස්ථාවක් වන බව ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසීය.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය පසුගියදා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේදී, එම මණ්ඩලය සමඟ ද්වීපාර්ශවික අවබෝධාත්මක ගිවිසුමකට අත්සන් තබනු ලැබීය. මෙහිදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා හා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය වෙනුවෙන් එහි සභාපතිනි සසිකා ද සිල්වා මහත්මිය අත්සන් කරනු ලැබීය.
මෙම අවබෝධතා ගිවිසුම මඟින් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ, ව්‍යවසායකයින්ගේ ගැටළු විසඳාදෙමින් ව්‍යවසායකත්වයට උචිත පරිසරයක් නිර්මාණය කරදීමට සහාය දක්වමින්, ඔවුන්ව දිරිමත් කිරීමට පියවර ගනුඇත.

මෙම අවස්ථාවට සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, උප සභාපතිවරුන් වන එස්.එන්. රාඝවන් සහ මහේන්ද්‍ර පෙරේරා, භාණ්ඩාගාරික ෂොහාන් විජේසිංහ, අධ්‍යක්ෂ යසසිරි රුද්‍රිගු, ජාතික සංවිධායක අජිත් කුමාර, ලේකම් නන්දලාල් ලේකම්ගේ, නිර්මාතෘ සුරන් වීරරත්න යන මහත්වරු ද සහභාගි වූහ. ඔවුන්ගේ පැමිණීම ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ව්‍යවසායක පරිසර පද්ධතියක් පෝෂණය කිරීම සඳහා වූ සාමූහික කැපවීම ඉස්මතු කළේය. IDB වෙතින් එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එස්. සමරකෝන්, සහ අධ්‍යක්ෂ ප්‍රාදේශීය සංවර්ධන පී.පී.පී.එස්. දික්වැල්ල, අධ්‍යක්ෂ කාර්මික අයි.එම්.ජේ. ඉලංගකෝන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

ස්ථානය: අධ්‍යක්ෂ මණ්ඩල කාමරය - කාසම