කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

“Industry EXPO 2024” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය කොළඹ BMICH හිදී ආරම්භ වේ.

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේදී නිෂ්පාදන කර්මාන්ත නගා සිටුවීම අත්‍යවශ්‍ය වනබව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ " Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාට සහභාගි වෙමිනි.

නිෂ්පාදන ආර්ථිකය බල ගැන්වීමේ අරමුණ ඇතිව දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා එක්ව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතන , වෙනත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ " Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරණායක ප්‍රදර්ශණ ශාලාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) උදෑසන විවෘත විය.

ශ්‍රී ලංකාවේ සමස්ථ කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි නිෂ්පාදන අංශ 25 ම නියෝජනය කරමින් ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම දැවැන්ත ප්‍රදර්ශණය ප්‍රදර්ශණ කුටි 1307 කින් සමන්විත වේ. කර්මාන්තකරුවන් දිරි ගැන්වීම, කර්මාන්ත සඳහා නව තාක්ෂණය හදුන්වාදීම, නවෝත්පදන දිරි ගැන්වීම, වෙළඳපළ අවස්ථා උදාකර දීම මෙන්ම දේශිය හා විදේශීය ව්‍යවසායකයින්, සැපයුම්කරුවන්, ගැණුම්කරුවන් යන සියඑදෙනා ඒකරාශී කර ගැනීමට මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශණය මඟින් අවස්ථාව උදාවනු ඇත. මෙම Industry EXPO 2024 ජාත්‍යන්තර ප්‍රදර්ශණය සඳහා ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ඉන්දියාව, බංගලිදේශය, චීනය, සිංගප්පූරුව, මැලේසියාව ඇතුළු රටවල් 23 ක් නියෝජනය කරමින් ප්‍රදර්ශණ කුටි 38 ක් ඉදිරිපත් කර ඇත.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
"වසර 2 ක් වැනි කෙටි කාලයක් තුළදී රට වැටී සිටි බංකොලොත් භාවයෙන් මිදීමට අපට හැකියාව ලැබුණා. නමුත් නැවතත් එම තත්ත්වය ඇති නොවීමට නම් ශක්තිමත් ආර්ථිකයක් අප රට තුළ ඇති කළ යුතුයි. මේ සඳහා අපගේ ආර්ථිකය තරගකාරී විය යුතු වෙනවා. අප අසල්වැසි ඉන්දියාවේ සීඝ්‍ර කර්මාන්ත දියුණුවක් ඇතිවෙමින් තිබෙනවා. අප රටද ඒ තත්ත්වයට ළඟා විය යුතුයි. ඒ සඳහා රජයක් ලෙස දැනට පවත්වාගෙන යන කර්මාන්ත සඳහා අවශ්‍ය සියළු සහාය ලබා දෙමින් සිටිනවා. එසේම ආර්ථිකයේ තරඟකාරීක්වය මෙන්ම කර්මාන්ත වලද තරගකාරීත්වයක් ඇති කිරීම වැදගත්. මේ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා. 70 දශකයේ පැවති ආකාරයට අලුතින්ම සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමටත්, අඩු පොලී අනුපාතයන් යටතේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමටත්, ආර්ථික කොමිසමක් ඇති කිරීමටත් කටයුතු කරනවා. " යැයි පැවසීය.

තවද විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම වැදගත් වන බැවින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, නිෂ්පාදන ආර්ථිකය බල ගැන්වීමේ අරමුණ ඇතිව ප්‍රදර්ශන කුටි 1307 කින් සමන්විත ලංකාවේ දැවැන්තම ප්‍රදර්ශනය පැවැත්වීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවත් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීමට කටයුතු කරන සියලුම කර්මාන්තකරුවන්ට ජාතියේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුදකරන බව පැවසීය.

ව්‍යවසායකයින් සවිබල ගන්වන, ගැණුම්කරුවන්ට හා විකුණුම්කරුවන්ට පහසුකම් සපයන රජයේ පූර්ණ සහයෝගීතාව සහිත Ceylon Plaza යෙදවුම ජනගත කිරීමද මෙහිදී සිදු කරන ලදී.

මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාරවරු, විදේශීය තානාපතිවරු හා මහකොමසාරිස්වරු, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ස්ථානය: BMICH, කොළඹ