කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අභිමානවත්ව ඇරඹේ...

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා ඇතුළු සම්භාවනීය ආරධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් 2023 දෙසැම්බර් 28 දින ගාල්ල සමනල ක්‍රිඩාංගන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක ප්‍රදර්ශන කුටි 300 කට අධික ප්‍රමාණයක් තුළ නවෝත්පාදන, නව තාක්ෂණය සමගින් නව කර්මාන්ත රැසක නවාංගයන් මෙන්ම දකුණු පළාතට අනන්‍යවූ කර්මාන්ත රැසක්ද Industry 2023 Galle Edition කර්මාන්ත ප්‍රදර්ශනයට අන්තර්ගත වන අතර කර්මාන්ත ගැන දැනුවත් වෙමින් නව කර්මාන්තයන් ආරම්භ කරමින් ව්‍යවසායකයකු වීමට කැමති සැමට ඊට අදාළ අවස්ථාවන් උදාකර දීමද සිදුකොට දී තිබෙයි.

මෙම සමාරම්භක අවස්ථාවේදී තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් වෙනුවෙන් ලංකා බැංකුව මගින් ලබා දෙන ණය මුදල් ප්‍රධානයක් ද අමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන්, ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර, ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු, කර්මාන්ත අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන් ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Venue: Galle Samanala Ground