කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

රටේ ව්‍යවසායක සංස්කෘතියක් ගොඩනැගීමට නම්, කර්මාන්ත සඳහා රජයේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි

"අපේ කර්මාන්ත කරුවන්ට ඒවා පටන්ගෙන එම කර්මාන්ත සංවර්ධනය කරගෙන යාමට පහසුකම් ... නැතිනම් එවා දුර්වල වෙනවා. ඒ නිසා කර්මාන්ත කරුවන්ට, ව්‍යවසායකයින්ට, රජය මගින්, රාජ්‍ය ආයතන මගින් උපරිම සහයෝගය, මඟ පෙන්වීම ලබාදිය යුතු වෙනවා. ඒ සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මේ ආකාරයට ගරුතර මහා සංඝ රත්නයේ ආශිර්වාද අවවාද අනුශාසනා ලබාගෙන ඉදිරියට ගෙනයාම සඳහා භික්ෂු කතිකාවක් ඇති කිරීම අගය කළ යුතු වෙනවා" යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ගරු පූජ්‍ය ආචාර්ය වලේ ගොඩ ගුණසිරි නාහිමියන් පැවසීය .

උන්වහන්සේ එසේ පැවසුවේ 2024.04.27දා කටුබැද්ද කර්මාන්ත සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති " රට ගොඩනඟන නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැගීමේ භික්ෂු කතිකාවේ" දීය.

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරනු ලැබූ, මෙම භික්ෂු කතිකාව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක, ගරු පූජ්‍ය ආචාර්ය වලේබොඩ ගුණසිරි නායක හිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ, මහාචාර්ය පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති නාහිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති පූජ්‍ය මහාචාර්ය එළ මල්දෙණියේ සාරානන්ද නා හිමි, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍යය ආචාර්ය මඩියේ සුගත සිරි නාහිමි වරුන්ගේ ප්‍රධානත්වයෙන් විචිත්‍ර ධර්ම කථික සංඝයා වහන්සේලා හැට(60) නමකගේ සහභාගිත්වයෙන් මෙම ව්‍යවසායකත්ව භික්ෂු කතිකාව පැවැත්වුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ගරු පූජ්‍යය ආචාර්ය වලේබොඩ ගුණසිරි අනු නා හිමියන් මෙසේද පැවසීය

" අර්ථයෙන් ධර්මයෙන් යහපතක් වෙන්න තමයි අපි බණ කියන්නේ මේ මගින් යහපත් දිවි පැවැත්මක් අපේක්ෂා කරනවා එසේම යහපත් වෙළඳාම, ව්‍යවසායකත්වය, නිෂ්පාදනය ද, ගුණධර්ම පිරි සමාජයකට රටකට ඉතා වැදගත් වෙනවා. අද මෙහි සහභාගිව සිටින අපේ භික්ෂූන් වහන්සේලා උගත් ඒ වගේම විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේලා පිරිසක් උන්වහන්සේලා මගින් මෙම ව්‍යවසායකත්ව පණිවිඩය රටට ගෙනියන්න පුළුවන්. අපේ භික්ෂූන් වහන්සේලා තමයි හොඳම සන්නිවේදක පිරිස. ඔවුන්ට පන්සල් , පාසල්, දහම් පාසල්, මෙන්ම සමාජයේ වැඩිහිටි, තරුණ, කාන්තා සමිති, පුරවැසි සමිති මගින් මේ පණිවිඩය රටට ගෙනයාමට පුළුවන්. එසේම බුදු දහමේ හේතුඵලවාදය අනුව අපේ රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු සොයාගෙන එයට පිළියන් යෙදීම මගින් යළිත් ඒවා යථා තත්ත්වයට පත් කර ගැනීමට පුළුවන්. නමුත් එය ව්‍යවසායකත්වයට තනියම කරන්නට බැහැ. ඔවුන්ට පවතින විවිධ ගැටලු, බාධක ආදිය විසඳා දීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම අධික බඳු ක්‍රම, ඉන්ධන මිල, විදුලිබිල, වැනි බාධක ඉවත් කරලා කර්මාන්තවලට හිතකර, ව්‍යවසායකයන් දිරි ගන්වන, පරිසරයක් ඇති කිරීමට පියවර ගත යුතුයි. ඒ සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මෙන්ම රජයෙන් පූර්ණ සහයෝගය ලැබිය යුතුයි. ඒ වගේම අපේ ජනතාවගේ, තරුණ පරපුරේ, ඉච්ඡා භංගත්වයට පත් වූ විඳවැටුණු ආත්ම විස්වාසය නැවත ඇති කළ යුතුයි. ඒ සඳහා රජය විශ්වාසයක් ඇති කළ යුතුයි. ඒ ආකාරයටම ව්‍යවසායකයන් දිරිගැන්වීම කළ යුතුයි. අපේ රටේ ඉතා දක්ෂ ව්‍යවසායකයන් සිටිනවා. ඔවුන්ගේ දක්ෂකම් , චරිත කතා අපේ රටේ සිසු පරපුරට දැන ගැනීමට සැලැස්විය යුතුයි. එවිට මේ රටේ ව්‍යවසායකයන්ගේ චරිත කතා තුළින් ඔවුන්ට ගෞරවයක් ඇති කරන්නට පුළුවන්කම ලැබෙනවා. අපි පූජ්‍ය පක්ෂය හැටියට මෙම කර්ත්‍යවයට අපේ සහය ලබා දෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මීට දේශපාලනය ගාවගන්න එපා. මේ රට හදන්නට අපි අවශ්‍ය සහයෝගය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන්නේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමඟයි. අද මෙහි සහභාගී වන අපේ භික්ෂූන් වහන්සේලා සියලුම දෙනා ඉදිරියේදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මෙරටේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීමට ගෙනයන පියවරට අවශ්‍ය සහයෝගය ලබා දීමට පෙරමුණ ගන්නා බව සතුටින් සඳහන් කිරීමට කැමතියි." යැයි පැවසීය .

මෙහිදී අදහස් දක්වමින්, අරමුණ පැහැදිලි කරමින් කතා කළ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය.

" කර්මාන්ත අමාත්‍යය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ කර්මාන්ත සංකල්පය වන්නේ, අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් තුළ රටේ ආර්ථික සංවර්ධනය සක්‍රීය කිරීමයි. ඒ සඳහා අපේ රට තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් මෙන්ම, ව්‍යවසායකත්ව මානසිකත්වයක්, ඇති කළ යුතු වෙනවා. අප රජයක් ලෙස එය ඉටු කිරීමේදී අප අපේ සමාජයේ ගෞරවනීය පුරවැසි කණ්ඩායමක් වන ගරුතර මහා සංඝරත්නයේ මග පෙන්වීම, ආශිර්වාද, අවවාද, අනුශාසනා ලබාගෙන සාර්ථක කර ගැනීම සඳහා අද අපි මේ ගෞරවනීය භික්ෂු කතිකාව ඇති කර ගැනීමට අපේක්ෂා කරනවා. එහිදී ගරුතර නායක හිමිපාණන් වහන්සේලාගේ හා විචිත්‍ර ධර්ම කථික ගරුතර මහා සංඝරත්නයේ සහයෝගය අපේක්ෂා කරනවා. අපේ රටේ තිස්තුන් වසරක් පැවති යුද්ධයේදී රණවිරුවා රටේ ධුරාවලියේ ඉහළම මට්ටමේ තැබුවා වගේ, කොරෝනා ව්‍යසන සමයේදී සුව විරුවා රටේ ධුරාවලියේ ඉහළම මට්ටමේ තැබුවා වගේ, මේ රට බේරා ගන්න නම් මේ දසකයේ ව්‍යවසායක විරුවන් ධූරාවලියේ ඉහළටම ගේන්න ඕන. ඒ සඳහා ගෞරවනීය ඔබ වහන්සේලාගේ මග පෙන්වීම අනුශාසනා හා ආශිර්වාද අවශ්‍ය වෙනවා..."යැයි පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කථා කළ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙසේ ද පැවසීය
" අපේ රටේ ශ්‍රම බලකායෙන් රාජ්‍ය සේවයේ සිටින්නේ ලක්ෂ (15) පහළොවක් පමණ, නමුත් ලක්ෂ (70) හැත්තෑවකට වැඩි පිරිසකට, රැකියාව ලබාදීලා තියෙන්නේ පුද්ගලික අංශයේ ව්‍යසායකයනුයි. ඒ වගේම මේ ව්‍යසායකයින් තමයි වැඩිපුරම බදු ගෙවන්නේ, ඔවුන් වටිනාකම වටිනාකම අඩු අමුද්‍රව්‍ය යොදාගෙන , වටිනාකම වැඩි භාණ්ඩ නිෂ්පාදනය කරලා අපේ රටට අවශ්‍ය ඩොලර් ගේනවා. ඒ නිසාම ඔවුන් අපේ සමාජයේ ධූරාවලිය තුළ ගෞරවයට පාත්‍ර විය යුතුයි. අපි ඔවුන්ව අගය කරමින් වටිනාකමක් ලබා දිය යුතුයි. ඒ නිසා මේ ව්‍යවසායකයා සමාජ බලවේගයක් බවට පත් කර ගත්තොත් විතරයි අපේ රට ඉදිරියට ගෙනයාමට පුළුවන් වන්නේ ඒ නිසා අපේ රට තුළ ආර්ථික සංවර්ධනය ඇති කිරීමේ ගාමක බලවේගය වන ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා අපි කාර්මික සංවර්ධන මණ්ඩලය විදිහට පියවර රැසක් ගෙවී ගිය කාලය තුළ අරගෙන තියෙනවා. අපි රට පුරාම මෙම ව්‍යසායක සංස්කෘතියක්, ව්‍යවසායක මානසිකත්වයක් ගොඩනගන්න විශාල වැඩ කොටසක් මේ වන විටත් ඉටු කරමින් සිටිනවා. ඒ සඳහා ඔබ වහන්සේලාගේ සහයෝගය ලබා ගෙන, මේ ගැන කතිකාවක් ඇති කරගෙන, අපේ රටට උචිත ව්‍යවසායක සංස්කෘතියක් හදා ගන්නට ඔබ වහන්සේලාගේ අවවාද, අනුශාසනා, මග පෙන්වීම් හා ආශිර්වාදය ලබා ගැනීම මෙම භික්‍ෂු සංවාදයේ අරමුණ වනවා." යැයි පැවසීය.

මෙම අවස්ථාවට සහභාගි වූ විචිත්‍ර ධර්ම කථික ගරුතර මහා සංඝයා වහන්සේලා කීප නමක් ද මෙහිදී අදහස් දැක්වීය.

මෙම අවස්ථාවට කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එස්. සමරකෝන්, අධ්‍යක්ෂකා (ව්‍යවසායක සංවර්ධන) රේණුකා ජයලත්, අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සංවර්ධන) පී.පී.එස් දික්වැල්ල මහත්ම මහත්මීන්ද සහභාගි විය.

ස්ථානය: කර්මාන්ත සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරය

ANNOUNCEMENTS
Close